Thursday, December 22, 2016

මඟ දෙපස ජීවිත

 මහ මග ගමන්ගන්නා අප නොදකින, එහෙත් අප නිසාම දිවි අහිමි කරගන්නා මඟ දෙපස ජීවිත පිළිබඳ ලියැවෙන දෙවැනි ලිපියයි මේ. කුරුණෑගල පුත්තලම ප්‍රධාන මාර්ගයේ 61වන කිලෝමීටර් කණුව ආසන්නයේ මහමග දී මෙලෙස තම ජීවන ගමන අවසන් කර ඇත්තේ ඇටිකුකුළා(common coucal) නමින් හැඳින්වෙන පක්ෂියෙකි. වියලි කලාපයේ බහුලව දක්නට ලැබෙන මෙම පක්ෂියා ගොවියා ගේ හිතමිතරෙකු ලෙස සැලකෙන්නේ කරදරකාරී ගොලුබෙල්ලන් ආහාරයට ගන්නා බැවිනි. වේගයෙන් පියැඹීමට අපහසු උදාසීන හැසිරීමක් පෙන්වන ඇටිකුකුළා ඉතාමත් අහිංසක සතෙකි. උදාසීන හැසිරීම නිසාම නිරන්තරයෙන් අනතුරු වලට ගොදුරු වේ. එහෙත් පෙනුමින් අහිංසක වුවත් ඇටිකුකුළා ගේ ප්‍රහාරයට නිරන්තරයෙන් මුහුණදෙන සතුන් ද ඇත. කූඩු වල ඇති කුඩා පක්ෂීන් ගේ බිත්තරත් ලේන් පැටවුනුත් නිරන්තරයෙන් ඇටිකුකුළාගේ ආක්‍රමණයට ලක් වේ. දෙබර කූඩු සහ බඹර වද වලට ද පහර දෙන බැවින් නිවාස ආසන්නයේ දෙබර, බඹර ජනපද ඇති අයට ඇටිකුකුළා නිසා නොසිතූ අකරතැබ්බයන්ට මුහුණපෑමට සිදු වේ. කෙසේ වුවත් මිනිසාගේ පහසුව පිනිස විවිධ භෞතික සංවර්ධනයන් සිදු කරන අතරතුර පරිසර පද්ධතියට සිදුවන බලපෑම පිළිබඳව අවධානය යොමු කරමින් පරිසරයට අවම හානියක් සිදුවන ආකාරයෙන් කටයුතු කිරීමත් පිළිබඳව අපගේ අවධානය යොමු විය යුතුය.

= අශෝක චන්ද්‍රසේකර =ඇටිකුකුළා

No comments:

Post a Comment